නම :
ලිපිනය :
ඊ මේල් :
දුරකථන :
පණිවිඩය :
 
සභාපති

මහාචාර්ය නාලක මෙන්ඩිස් මහතා සහනය - ජාතික මානසික සෞඛ්‍ය සභාවේ වර්තමාන සභාපති ලෙස කටයුතු කරයි.


මෙන්ඩිස් මහතා 1971 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් තම වෛද්‍ය උපාධිය (MBBS) ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේ හා එක්සත් රාජධානියේ මනෝ විද්‍යාව පිළිබඳ ලද පුහුණුවෙන් පසු ඔහු 1979 දී  MRC Psych උපාධිය ලැබූ අතර, 1987 දී විද්‍යාලයේ අධිශිෂ්‍යත්වය (Fellowship) ද ප්‍රධානය කරනු ලැබීය.


1981 සිට ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, එක්සත් රාජධානිය හා නෝර්වේ වැනි රටවල මානසික සෞඛ්‍ය, මත්ද්‍රව්‍ය භාවිතය, වෛද්‍ය අධ්‍යාපනය, සමාජ විද්‍යා, වෛද්‍ය ආචාර ධර්ම හා  සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශේෂ වැඩසටහන් හා අධ්‍යයනයන්ට සහභාගී වෙමින් තම දැනුම හා හැකියාවන් වර්ධනය කරගැනීමට වෛද්‍ය මෙන්ඩිස්ට අවස්ථාව ලැබිණි. 1987 දී හාවඩ් විශ්ව විද්‍යාලයේ ද, 1989 දී නවසීලන්තයේ වෙලිංටන් වෛද්‍ය විද්‍යාලයෙන්ද, 1994 ලන්ඩන්හි University College Hospital හිද Visiting Fellow වශයෙන් කටයුතු කළේය.


1974 දී කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ මනෝ විද්‍යා අංශයට බැඳුණු වෛද්‍ය මෙන්ඩිස් මහතා, 1989 දී මුලසුනට පත්විය. වර්තමානයේදී ඔහු එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වශයෙන්ද, කොළඹ ජාතික රෝහලේ විශ්ව විද්‍යාල  මනෝ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ වශයෙන් ද කටයුතු කරයි. එසේම ඔහු කොළඹ වෛද්‍ය පීඨයේ Psychological Medicine අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයාද වෙයි.


මහාචාර්ය මෙන්ඩිස් මහතා සංගම් හා සංවිධාන ගණනාවක සාමාජිකත්වය දරයි. කොළඹ විශ්ව විද්‍යාලයීය සභාව, වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසම, ජාතික අන්තරාකාරී ඖෂධ පාලක මණ්ඩලය, ආබාධිතයන් සඳහා ජාතික සභාව,  කොළඹ විශ්ව විද්‍යාලයීය සංවර්ධන අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ධූරය ආදිය මේ අතර වේ. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතන ගණනාවක තාවකාලිකව උපදේශකවරයෙකු වශයෙන් ද ඔහු කටයුතු කර ඇත.


කොළඹ විශ්ව විද්‍යාලයීය උපාධි විෂය පාඨමාලාව සංශෝධනය කිරීම, Psychological Medicine අංශය පුළුල් කිරීම, මනෝ වෛද්‍ය විද්‍යාව කොළඹ වෛද්‍ය පීඨයේ වෙනම විෂයක් ලෙස හඳුන්වා දීම හා නව විෂය මාලාව තුළ Behavior Stream  හඳුන්වාදීම යනාදිය සඳහා මහාචාර්ය මෙන්ඩිස් මූලිකත්වය ගෙන ක්‍රියා කර ඇත. Reseach Ethics කමිටු සභාපති වශයෙන්, ඔහු එහි ක්‍රියාකාරීත්වය ප්‍රතිසංශෝධනය කිරීම හා වඩා පුළුල් කිරීමටත් නව සම්පත් එක්රැස්  කිරීමටත් සමත් විය.


මහාචාර්ය මෙන්ඩිස් මහතා 1997 දී සෞඛ්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකායේ සාමාජිකත්වය ඉසිලීය. සහනය හා ලෝක බැංකුව හා එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික වෛද්‍ය නිලධාරී (MOMH) වැඩසටහන දියත්  කිරීමටද ඔහු මූලිකත්වය ගෙන ඇත. ද්විතීය අංශයේ මානසික සෞඛ්‍ය සේවා සැපයීම මේ හරහා වඩා සාර්ථක ලෙස ඉටු කිරීමට හැකි වී තිබේ.


South Asian Forum for Mental Health හි ආරම්භක සභාපති වූ මහාචාර්ය මෙන්ඩිස්, පසුව Asian Federation of Psychiatric Associationහි උප සභාපති ධූරය මෙන්ම, World Association for Psychosocial Rehabilitation හි ප්‍රාදේශීය උප සභාපති ධූරයද දැරීය.


මානසික සෞඛ්‍ය  පිළිබඳ ජාතික සභාව ස්ථාපනය කිරීමත් සමඟ ඉන් ක්‍රියාත්මක කෙරුණු මානසික සෞඛ්‍ය ආශ්‍රිත වැඩසටහන් ගණනාවක් හරහා ප්‍රජා මූලික මානසික සෞඛ්‍ය සංවර්ධනය වැඩිදුරටත් සාක්ෂාත් කිරීමට අවස්ථාව සැලසිණි. සභාවේ ආරම්භක මෙන්ම වර්තමාන සභාපති වශයෙන් මහාචාර්ය මෙන්ඩිස් මහතා මෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි. සහනය ආයතනය හරහා මානසික සෞඛ්‍ය සංවර්ධනයට සිදුවන මෙහෙය ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදෙස් රටවලද ඇගයීමට පාත්‍ර වී තිබේ.


මහාචාර්ය මෙන්ඩිස්  ශාස්ත්‍රීය නිබන්ධන හා ශාස්ත්‍රීය ලිපි ගණනාවක් පළකර ඇති අතර, අන්තර්ජාතික සම්මේලන රාශියක ඉදිරිපත් කිරීම්ද සිදුකර ඇත. වර්තමානයේදී ඔහු යටත් විජිත සමයේ සිට මේ දක්වා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විකාශනය පිළිබඳ ඓතිහාසික සමාලෝචනයක් සකසමින් සිටියි. 


Copyright © Sahanaya 2010 Powered By PC'S R US